විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීම නව ක්‍රමවේදයක් ඔස්සේ අද (19) සිට නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පසුගියදා (17) නිවේදනය කළා.

ඒ අනුව අයදුම්කරුවෙකු නව විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට හෝ අලුත් කරගැනීම සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ අනිවාර්යෙන්ම දිනයක් හා වේලාවක් වෙන් කරගත යුතුව තිබුණා.

එය එක්දින සේවය හා සාමාන්‍ය සේවය යන දෙවර්ගය සඳහාම වලංගු වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණා.

මෙවන් පසුබිමක අද උදෑසනත් ජනතාව විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණ තිබුණා.

එහිදී දිනයක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණි පිරිස් වෙත පමණක් අවස්ථාව ලබාදෙන බවට නිවේදනය කිරීමෙන් අනතුරුව උණුසුම් තත්ත්වයක් හටගෙන තිබු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට දිගු පෝලිම් හා තදබදයක් දක්නට ලැබුණු අතර පොලීසිය හා කැරලි මර්දන ඒකකය ද කැඳවීමට සිදුවී තිබුණා.