රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවනවර කියවීමේ විවාදය ලබන 25 වනදා පැවැත්වී‌මට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව ලබන 23වනදා සිට 26වනදා දක්වා රැස්වන අතර ජුලි 23 වන අඟහරුවාදා පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර දී තිබෙනවා.

අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) (දෙවැනිවර කියවීම) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග ද්විත්වයක් විවාදයට ගැනීමට නියමිතයි.

පසුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

ජුලි 24 වන බදාදා පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කෙරෙනවා.

අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා විසින් ගෙනෙනු ලබන “කෘතිම බුද්ධිය භාවිත කිරීමේ තාක්ෂණය ( AI Technology) මගින් ජාතික ආරක්ෂාව, සියලු ආගම් සහ රටේ සංස්කෘතිය කෙරෙහි ඇති කරන බලපෑම” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

ජුලි 25 වන බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තිරණය වී තිබෙනවා.

ඒ අනුව අදාළ විවාදය සඳහා වැඩි කාලයක් ලබා දීමේ අරමුණින් එදින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සහ සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සලකා නොබැලීමටත් මෙහිදී ඒකඟත්වය පළ කර ඇති බවයි සඳහන් වන්නේ.

ජුලි 26 වන සිකුරාදා සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් සඳහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වෙන් කර තිබෙනවා.