ජපානයේ නිල සංවර්ධන ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය ඉසුමි හිරොටෝ මහතා පවසනවා.
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන්වී ඇති නිසා පසුගිය සමයේ අත්හිටුවා තිබු මෙම ව්‍යාපෘති යළි ආරම්භ කිරිමට අවධානය යොමුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.
ශ්‍රී ලංකාවට පැමිණි ජපාන ඉහළ පෙළේ දූත පිරිස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති හමුවේදී ඉසුමි හිරොටෝ මහතා මේ බව පවසා තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරමින් නිල ණයහිමියන්ගේ කමිටුව සමඟ එක්වී ඉතා කෙටි කාලයක් තුළ සාර්ථකව ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට එළැඹීම තුළින් ජාත්‍යන්තර ප්‍රජාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබිඹු වන බවත් ඒ මහතා එහිදී සඳහන් කර තිබෙනවා.
කෘෂි නවීකරණය ඇතුළු විවිධ ක්ෂේත්රයන්හී මෙන්ම දෙරට අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගනිමින් සමීප සබඳතා තහවුරු කරගැනීම කෙරෙහි ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
එසේම දැනට තාවකාලිකව අත්හිටුවා ඇති කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධන ව්‍යාපෘතිය, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සහ රූපවාහිනී ඩිජිටල් විකාශන ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති නැවත කඩිනමින් ආරම්භ කළ හැකි බවද ජපාන දූත පිරිස පවසා තිබෙනවා.
පසුගිය රජය විසින් අතරමග නවතා දමන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ද යළි ආරම්භ කිරීමේ හැකියාව පවතින බව සඳහන් කළ ජපාන දූත පිරිස කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමට මනා පිටිහවලක් වන මෙම ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීම සඳහා හැකියාව පවතින ස්ථාන නිරීක්ෂණය කිරීමට කටයුතු කරන බවද මෙහිදී සඳහන්කර තිබෙනවා.
ජපානයේ විදුලි සැපයුම් ක්ෂේත්රය වැඩිදියුණු කිරීමේ අරමුණින් එරට පෞද්ගලික අංශයේ පවතින රැකියා අවස්ථා සඳහා තාක්ෂණ ක්ෂේත්රයේ ලාංකික උපාධිධාරීන් බඳවා ගැනීමට කැමැත්තෙන් පසුවන බවද ජපාන දූත පිරිස විසින් ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.