ගිලන් රථ රියදුරෙක් විසින් ඊයේ (26) රාත්රියේදී වවුනියාව මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් බලහත්කාරයෙන් පැහැර ගෙන යාමට උත්සහ කළ අවස්ථාවේදී ඇය ගිලන් රථයෙන් බිමට පැනීම නිසා තුවාල ලබා තිබෙනවා.
මෙම වෛද්‍යවරිය වවුනියාවේ පම්පමඩුව ප්‍රදේශයේ නේවාසිකව සිටින වෛද්‍යවරියක්.
ඇය සේවය සදහා වවුනියාව මහ රෝහලට පැමිණීමට සූදානම් වූ අවස්ථාවේදී වවුනියාව මහ රෝහලේ සිට පම්පමඩුව ආයුර්වේද රෝහලට රාත්‍රී ආහාරය රැගෙන ගිය ගිලන් රථය ආපසු වවුනියාව මහ රෝහලට පැමිණෙමින් තිබූ නිසා ඇය එම ගිලන් රථයට ගොඩ වී ඇති බවයි වාර්තා වෙන්නේ.
ගිලන් රථයේ රියදුරා හා තවත් අයෙකු එහි සිට ඇති අතර, රියදුරා වවුනියාව - මන්නාරම මාර්ගයේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබා ගැනීමට ගිලන් රථය නවත්වා ආපසු එය වවුනියාව මහ රෝහලට ධාවනය කිරීම වෙනුවට අතුරු මාර්ගයකින් වෙනත් දිශාවකට ධාවනය කරන්නට පටන් ගෙන තිබෙනවා.
ඊට හේතුව විමසුවත් රියදුරා කිසිවක් ප්‍රකාශ නොකිරීම නිසා බියට පත් වෛද්‍යවරිය ගිලන් රථයෙන් බිමට පැන තමාව බලහත්කාරයෙන් පැහැර ගෙන යාමට උත්සහ කරන බව මහමග සිටි පිරිසට ප්‍රකාශ කර ඇති බව සඳහන්.
එම පිරිස වෙනත් වාහනයකින් ගිලන් රථය හඹා ගොස් එය නතර කරවා රියදුරුට හා සහායකයාට පහර දී ඔවුන්ව නෙලුකුලම පොලීසිය වෙත බාර දී තිබෙනවා.
පසුව වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු පිරිසක් එම ස්ථානයට ගොස් ඇති අතර, පොලිසිය සමග සාකච්ඡා කිරීමෙන් පසුව ගිලන් රථ රියදුරා හා සහායකයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.
වෛද්‍යවරිය පැහැර ගැනීමට උත්සහ කළ රියදුරා සිටි ගිලන් රථයද වවුනියාව මහ රෝහලට අයත් ගිලන් රථයක් බැවින් රියදුරුට හා රිය සහායකයාට එරෙහිව වෙනම පරීක්ෂණයක් වවුනියාව මහ රෝහලේ පාලන අධිකාරිය විසින් ආරම්භ කර ඇති බව සඳහන්.
එම පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ වවුනියාවේ සිට පම්පමඩුව ආයුර්වේද රෝහලට දුර කි.මී 16ක් වූවත් එක් ගමන් වාරයක් සදහා මෙම රියදුරා කි.මී. 20ක දුරක් සටහන් කර ඉතිරිවන ඉන්ධන අලෙවිකරන බවයි.
දිනකට ගමන් වාර 6ක් මෙම ගිලන් රථය වවුනියාව මහ රෝහල හා පම්පමඩුව ආයුර්වේද රෝහල අතර ධාවනය කිරීම සිදුවන බැවින් ගිලන් රථ රියදුරා මෙම ඉන්ධන වංචාව කාලයක සිට කරගෙන ගොස් ඇති බවද හෙළි වී තිබෙනවා.
වවුනියාව මහ රෝහලෙන් ගිය වෛද්‍යවරු පිරිස බියට පත්ව සිටි වෛද්‍යවරිය වවුනියාව මහ රෝහල වෙත රැගෙනවිත් තිබෙනවා.