අනුරාධපුරයේ ක්‍රියාත්මක වූ ප්‍රබල අපරාධ කල්ලි නායකයකු වූ ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා ඝාතනය කිරීමට අනුරාධපුරයේ හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම ඇතුළු පොලිස් කණ්ඩායමකට රුපියල් කෝටි 13ක මුදලක් ලබාදුන් බව කියන ව්‍යාපාරිකයන් පිරිස ගැන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
බුද්ධි අංශයට සම්බන්ධව සිටින උප පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් සැරයන්වරයකු මෙම ඝාතන කොන්ත්‍රාත්තුවට සම්බන්ධ බවට මේ වන විට විවිධ තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.
පසුගිය මහ මැතිවරණය පැවැති දින සිය බිරිය සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එස්.එෆ්. ලොක්කා ඝාතනය කරනු ලබන්නේ අනුරාධපුර දහයියාගම හන්දියේදීය. ටී-56 අවියකින් කරනු ලබන මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලබන්නේ ද සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාමගේ මෙහෙයවීමෙනි. විමර්ශන නොමඟ යැවීමට එහිදී ඔහු විවිධ උපක්‍රම යොදා ඇති බවත් වෙඩික්කරු ගමන් කළ යතුරුපැදිය යැයි සඳහන් කරමින් ව්‍යාජ යතුරුපැදියක් පවා ඉදිරිපත් කරමින් පරීක්ෂණ මුළුමනින්ම නොමඟ යවා ඇති බවට සැක කරන තොරතුරු ද අනාවරණය වී තිබේ.
මෙම ඝාතන කොන්ත්‍රාත්තුවට සම්බන්ධ බව කියවෙන සෙසු පොලිස් නිලධාරීන් දෙදෙනා ද එස්.එෆ්. ලොක්කා ඝාතන විමර්ශනයට සම්බන්ධ වී ඇති බවත් ඒ අය සාක්ෂි විනාශ කිරීමට කටයුතු කර තිබේදැයි සොයා විමර්ශන පැවැත්වෙන බවත් ආරංචි මාර්ග සඳහන් කළේය.
එස්.එෆ්. ලොක්කාගේ විරුද්ධවාදියකු වූ බැටා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමඟ ද සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම ඇතුළු මෙම පොලිස් කණ්ඩායම ඉතා කිට්ටු සම්බන්ධකම් පවත්වා ඇති බවට තොරතුරු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇත. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාමගේ අනුරාධපුරයේ පිහිටි කාර්යාලයට ගෙන්වාගෙන එස්.එෆ්. ලොක්කා ඝාතනයට සැලසුම් කර ඇති බවට ද තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇත. එම ඝාතන සැලසුමට අනුව යම් දේශපාලන පක්ෂයක මන්ත්‍රීවරයකුගේ අනුරාධපුර උළුක්කුලමේ පිහිටි ඉඩමකට බැටා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුව උප පොලිස් පරීක්ෂකවරයා සහ සැරයන්වරයා විසින් රැගෙන ගොස් ටී-56 අවියක් දී වෙඩි තැබීමට ද පුහුණුවක් ලබාදී ඇති බවට තොරතුරු ලැබී තිබේ. ඒ සඳහා ගමන් කර ඇතැයි කියැවෙන්නේ මන්ත්‍රීවරයාට අයත් සුදු පැහැති වැගන් ආර්. වර්ගයේ රථයකින් බවත් අනතුරුව මන්ත්‍රීවරයාගේ නිවෙසේ නතර කර වීමට පොලිස් නිලධාරීන් දෙදෙනා කටයුතු කර ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ ගැන අධිකරණයට ද කරුණු වාර්තා කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරුවල සඳහන්ව ඇති ආකාරයට අනුව එස්.එෆ්. ලොක්කාට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථය පස්සේ යතුරුපැදියකින් හඹාගිය බැටා සහ පොලිස් සැරයන්වරයා විසිනි.
මෙම ඝාතන සැලසුමට සම්බන්ධව සිටි පොලිස් නිලධාරීන්ට අනුරාධපුරයේ ව්‍යාපාරිකයන් පිරිසක් විසින් රුපියල් කෝටි 13ක මුදලක් දී ඇති බවට ද තොරතුරු වාර්තා වී ඇති බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට එම ව්‍යාපාරිකයන් හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටින බව ආරංචි මාර්ග අනාවරණය කළේය.