ලෝක ඉතිහාසයේ දැවැන්තම ත්‍රස්තවාදී ප්‍රහාරය ලෙස සැලකෙන්නේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි ද්විත්වය සහ වොෂින්ටන් නුවර පෙන්ටගනය වෙත එල්ල වූ අල් ඛයිඩා ත්‍රස්ත ප්‍රහාරයයි.


9/11 ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන එම දැවැන්ත ප්‍රහාරය එල්ල කර අදට වසර 23ක් ගතවී අවසන්.


මගී ප්‍රවාහන ගුවන්යානා හතරක් යොදාගනිමින් එල්ල කළ 9/11 ප්‍රහාර මාලාවේ පළමු ප්‍රහාරයේ ඉලක්කය වූයේ නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ උතුරු කුලුන වන අතර එරට වේලාවෙන් පෙරවරු 8.46 ට එම ප්‍රහාරය එල්ල වුණා.


ඉන් මිනිත්තු 17 කට පසු එනම් පෙරවරු 9.03ට එහි දකුණු කුලුන වෙතද ප්‍රහාරයක් එල්ල වූයේ තවත් මගී ප්‍රවාහන ගුවන්යානාවක් යොදාගෙනයි.


පළමු ප්‍රහාරයෙන් පැයයි විනාඩි 45කට ආසන්න කාලයක් තුළ මහල් 110කින් සමන්විත වූ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුලුනු ද්විත්වයම කඩා වැටුණා.


නිව්යෝර්ක් ප්‍රහාරයේ උණුසුම පහව යාමටත් මත්තෙන් අමෙරිකානු ආරක්ෂාවේ මර්මස්ථානය ලෙස සැලකෙන පෙන්ටගනය එනම් අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වෙත ද තවත් ගුවන්යානයක් යොදාගෙන ප්‍රහාරයක් එල්ල කළ අතර ඒ පෙරවරු 9.37ටයි.